පසුගිය වසරේදී 'කඩචෝරු කෑම' සඳහා ශ්‍රී ලංකාව විසින් ඩොලර් කෝටි 600ක් වැය කර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
හෙතෙම සඳහන් කර සිටියේ, තවදුරටත් මෙම තත්ත්වය පැවතුණහොත් පැරණි ගැමි කතාවක සඳහන් පරිදි කිතුල් හකුරු සහ කජු කෑමට ගොස් බංකොළොත් වූ පවුලට සිදු වූ ඉරණම ශ්‍රී ලංකාවට අත්වනු ඇති බවයි.
එළඹෙන අප්‍රේල් 18වැනිදා පෙරවරු 11.16ට යෙදී ඇති 'නැකතට පැළයක්' නම් වූ ජාතික රුක්රෝපණ නැකත ප්‍රකාශයට පත් කිරීම සඳහා පරිසර අමාත්‍යාංශයේදී පවැති වැඩසටහනකට සහභාගිවෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
ඒ අනුව 2021 වර්ෂයේදී ආනයනය කරන ලද බොහෝ ආහාර නිෂ්පාදන මෙරට තුළදීම නිපදවා ගත හැකි, අත්‍යවශ්‍ය නොවන දෑ වන බවට පෙන්වා දුන් අමාත්‍යවරයා, එහිදී මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින්,
"පසුගිය වසරේ චීස්, බටර්, එළවළු, පලතුරු, අයිස්ක්‍රීම්, චොක්ලට්, සෝස් වර්ග ඇතුළු අත්‍යවශ්‍ය නොවන ආහාර ද්‍රව්‍ය ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් කෝටි 600ක් වැය කර තිබෙනවා. මේ මහබැංකුවේ සංඛ්‍යා දත්තයි.
පාරිභෝගික භාණ්ඩ සඳහා ආනයන වියදම 2020 වසර හා සැසඳීමේදී 2021 වසරට වියදම 3,401.66 සිට 3,848.71 දක්වා අමෙරිකානු ඩොලර් මිලියන 447.05කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරින් එළවළු ආනයන වියදම ඩොලර් මිලියන 352.86 සිට 384.27 දක්වා ඩොලර් මිලියන 31.41කින් ඉහළ ගොස් තිබෙනවා.
සීනි සහ රසකැවිලි සඳහා 2020දී වැය කර තිබුණේ, ඩොලර් මිලියන 277.13ක්. 2021දී ඩොලර් මිලියන 288.84ක් වියදම් කර තිබෙනවා. ඒ අනුව වියදම ඩොලර් මිලියන 11.71කින් ඉහළ නැග තිබෙනවා.
අපේ රටේ මී මැසි පාලනය කළ හැකිව තිබියදී 2021 වසරට ඩොලර් මිලියන 0.85ක මී පැණි ආනයනය කර තිබෙනවා. සාමාන්‍යයෙන් වාර්ෂිකව අපේ රටට මී පැණි ටොන් 150ක් ආනයනය කරනවා.
ධාන්‍ය හා ඇඹරුම් ආශ්රිත නිෂ්පාදන සඳහා වියදම වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. 2020දී ඩොලර් මිලියන 33.55ක් වූ එම වියදම, 2021දී 97.35ක් දක්වා ඩොලර් මිලියන 63.80ක වැඩිවීමක් බව සංඛ්‍යාලේඛන අනුව පෙනෙනවා.
චීස්, බටර් ආදී කිරි නිෂ්පාදන සඳහාද ඩොලර් මිලියන 17ක් වැය කර තිබෙනවා. තෙල් සහ මේද වර්ග ආනයනය සඳහා 2021දී වියදම ඩොලර් මිලියන 106.86ක්.
රටේ එළවළු වගා කිරීමට පහසුකම් තිබියදී එළවළු වර්ග පිටරටින් ගෙන්වීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 384.27ක් වැය කළා. මෙය 2020 වසරට වඩා මිලියන 31.41ක වැඩිවීමක්.
මිදි, දොඩම්, පෙයාර්ස් ආදී පලතුරු ගෙන්වීමට 2020 වසරේ ඩොලර් මිලියන 58.14ක් වැය කළද 2021 වනවිට රජය ආනයන සීමාවන් පනවා තිබියදීත් ඩොලර් මිලියන 67.56ක් වියදම් කර තිබෙනවා.
මේ විදියට සංඛ්‍යාලේඛන දෙස බලනවිට අපි කර තිබෙන්නෙත් අර ගැමි කතාවේ පරිදි කිතුල් හකුරුයි කජුයි කන්න ගිහින් බංකොළොත් වෙච්ච පවුලට වෙච්ච දේම තමයි. මේ තත්ත්වයෙන් ගොඩ එන්න නම් අපි නැවතත් නිෂ්පාදන ආර්ථිකයකට යා යුතුමයි" යැයිද පෙන්වා දුන්නේය.